Thursday, December 5, 2013

කැකුළ.....


ඈ හින වට
බැඳි මුතු පොට.....
බර වැඩිවුනු
සුබ පුවතට.....
නෙත ගඟුළකි...
හද පියුමකි.....
මුළු ලොව
පුන් මල් යහනෙකි......
දුක සතුටකි..
කඳුල සැපකි.....
බර අදහස්
තටුලන සෙකි....
සිතක සිතකි....
ගහෙන ළැමෙහි...
සිනා සලන...
කැකුළු රුවකි....
හද බිතු මත
මල් ලියලති....
රළු අහසේ
තරු නැලවෙති.....
නෙතු අද්දර
සිහින වැලකි....
ආදරයට
නව අරුතකි...

Tuesday, November 19, 2013

පොරොන්දුව....


බිඟු නද
ඇසුනිද ?
තනිකඩ සියපත
දළ හකුලාගෙන
ඉකි බිඳිනා.....
රිදවනු නොව
හිමිහිට රොන් ගන්නම්
එහෙත් නොවෙමි
මම සමනලයා....
ඇසුවෙද ? දුටුවෙද ?
මල් රොන් හැර
මල් සුවඳින්
සැනසෙන වන බඹරා....
පරවුනු මල ලඟ
ලතවෙනු බැහැ මට
කාලය කාගෙත්
පසමිතුරා....

සෙනෙහස වෙනසක
අනුහස විඳ සිඳි
අදහස් රහසෙම
ළමැද හොවා....
හිතවත්කම මත
නුරාව අතුරා
හිමිහිට වැතිරෙමි
යහන තලා.....

උදහස් අදහස්
පටු ඉරි මදහස්
සුරත් දෙතොල් පෙති
අතර රුවා....
ආපසු එන්නම්....
රොන් අරගන්නම්
යන්නම වෙයි
බැහැ වෙන්ට පමා....

Saturday, November 9, 2013

ගවේෂණය


ඇබිති....
වීදුරු
ජනේලයකින්
පෙරී එන
විසරිත
මන්දාලෝකයෙහි
එරී ගෙන....
මළානික
හිතේ ඇති සිහින පොත
එළාගෙන...
සත්‍යයෙහි
දිග පළල හොයමි
*ක ඉරාගෙන........

Friday, November 8, 2013

ශූන්‍ය


හුදකලාවෙච්චි
කඳුලයි...
පිරිවරාගත්තු
සතුටයි......
අස්සේ
තරු අරාගත්තු
අහසක....
සඳ මුවා වෙලා....

Friday, October 25, 2013

සන්සල...


විසේකාර..
එක් පෙති මල...
සලා සිඹින
සන්සල හිත......
පලා මහද
වට රැඳි සල....
බිඳී හැපෙයි
සිතිවිලි රළ....

තෙමා වියලි
මතක අහුර.....
මවා මැකුනු
අකුරු හතර......
සොයා සිතේ
සොඳුරු පැහැය.....
වෙලේ දිගැස
කැළුම් දහර......

ඇළුම් කරන
බැළුම් මතින්.....
පියලි සැලෙන
නෙත් අතරින්.....
මැවෙන නොසිඳි
කම් පහසින්....
සිත ඇළලේ...
මට රහසින්....

සළුපොට අග
නෙත පැටලී....
ගිනි මල
සිත තුල ඇවිලී...
ලීන සුපුන්
වට දිස්වී.....
ගලා හැලේ
හද හිස්වී....

Thursday, October 10, 2013

ඊට පස්සෙ....


නින්ද රිදුම් දෙන
කොන්ද තවනවා......
සිහිල් සුලං
කෙහෙරැල් පටලනවා.....
ගත නැගි පිණි මුතු....
තෙමා මුවින්.......
උණුහුම් හදවත
පලා ගිහින්.....
සිතේ ලිහිල් සළු...
පොටින් එබී.....
ගතේ කෝල වට....
නුවන් සිඹී.......

හුස්ම ටික...
නවතා කොලොප්පම......
අස්වැසුම මවලා......
ගැස්මකට
නතුවී සරගී....
හීන අවදිවෙලා.....
කෑගසන්නට බෑ....
මට ආදරෙන්......
කොනිත්තන්නම්
සුමුදුවට
මල් හීසරින්.....

බැල්මකට නතුවී
ඔබේ ඔය
කැලුම් එළි සොයලා....
නිසංසල සිතේ
කලබල......
රූ රටා මැවිලා......
පලායන්නට බෑ....
සඳ කැන් මතින්..........
මත්කරන් මගේ
හද නුඹ හාදුවෙන්.....

Saturday, October 5, 2013

පැතුම


අසාහිඳිමි...
මම...
බලාන ඔබ දෙස....
නොඇසෙන මුත්...
කිසිවක් ඔබ පවසන....
සිහින දකිමි.....
මේ මහ දවල්......
සක්මන් කරන අතරතුර.....
අසිහියෙන්.......
දෙනෙත අවදියෙන්....
ලොවට එබී....
සොයයි කෙම්බිමක්...
සැඟව හිඳින්නට......
වැතිර නිදහසේ....
හිතට හොරෙන්.....
බලාන ඔබ දෙස....
බිඳුනු කැටපතින්......
සහසක් පිළිඹිබු අතර...
මංමුලා වී......
ඉන්නට ඇත්නම්......
පේවී......
නොඅසා ඔබෙ පද පේලී.....

Wednesday, October 2, 2013

සුදුසුකම්.....


දිවැස් කියන
හැකියාවට.....
ආපු අළුත
රැකියාවට.......
හීන බල බලා
හිත යට......
ඕපදූප මුමුණනවා....
රේන්දයට
යට පනාව.....
දමා තනන
සලපනාව......
යෝධ දියරැළිත්...
කළඹා ඉවත හෙලනවා.....
පිළි පෑහී....
පීළි කැඩී දෝරගලනවා.......

Saturday, September 28, 2013

දසුන....


සඳ වත මත වැතිරී.....
බලා ඉමි මම
කාළවර්ණ අහස තුළ...
ඇස්පිල්ලමක වත්
ගහන්නට ඉස්පාසුවක් නැතිව....
ආදරණීය පොළෝතළය
දෙස...
ඉරිසියාවෙන් උනත්....
ලෙන්ගතුකමින් යුතුව...
හදා ගන්නට වලිකමින්...
ඇදුම් දෙන මයෙ පපුව.....
පිටුවාල් කල සතුට...
ඔච්චම් කරනවා මට...
මැවි මැවී...
පෙර වතක දුර මතක...
රතු කරයි
ඉරිතැළුනු හිස් දෙනෙත...
උස් පාත් වෙන සිහින....
අර අඳියි සටනකට...
තර්ක ඥාණය කොහිද......
හිඳ පැරද පළා ගිය....
ලෝකයට පිටුපාමි....
කෝපයට හිස නමමි....
හීනියට හීනවල.....
දිග පළල උස බලමි.....
තාරුකා නෙත් එපා...
මගෙ ලොවට එබෙන්නට...
හිත මිතුර මගෙ අඳුර....
වෙනවාද මගෙ සොඳුර....
වීදි රේඛා අතර තනිවමයි
ඔබෙ මතක....

Wednesday, September 25, 2013

හීනමානය


හීන ගනිමි
මං දහවල්.....
අව්ව තපිනකන්
සිතිවිලි...
ප්‍රේම කරනකන්
හොඳ කවි......
දැන් හොඳටම
නරක් වෙලා....
විසේකාර
නන් දොඩවන
විතක් එක්ක
හාදවෙලා....
හිතේ අඳුරු තැන්
සොය සොය......
පෙළයි දැවෙන
හාදු තියා...
සින්න වෙන්න
දෙන්නෙ කෝම
තියෙන එකම
හදවතත්....
එන්න ඇවිත්
අරන් යන්න....
එපා ඔබේ
මතකයත්.....

Saturday, April 27, 2013

ආදරණීය හුදකලාව.....



තනිව හිඳිමි මම
සරණක් නොමැතිව
කොයි කවුරුත්
නො එනා මාවත මැද.....
අසුරු සැනින්
සුණු විසුනුව යන්නට
බිඳුණු සිහිනයට
වාරුවෙලා...
මේ නොම නිමැවුනු
විරහ හඟුම් මැද
සිහින ඉතින්
යනු මා දමා
නිසල සිතින්
හිඳිමී බලා.....

සිහින පැතුම් රුක්....
ඉදිරී වැටිලා...
ඉදී සිඳී ඵල
අවාරයේ.....
උහුලාගෙන මේ
ගින්න තවත් නම්
ඉන්නට බෑ මට
නිසංසලේ....
පාට පාට තැවරී
හද පාමුල
සිතුවම දියවී
ගලා හැලේ.....

රැයේ සොඳුරු සඳ
කැල්මට ඉඩදී
පහන් තරුව
කිම මුවාවුනේ.......
කැඩපත හමුවේ
දෙනෙත නිරුවතින්
සොයයි හැඩය
සන්තානයේ......
සිත්මල පාමුළ
වත්සුණු තැවරී.....
මලේ සුවඳ පොද
හඬාවැටේ.......

Wednesday, April 17, 2013

Wrong Turn....



පිරුණු කොපුල් දෙමැද
නොපිපුනු පොහොට්ටුව....
හිතේ අහුමුළුවල
හොල්මං කරයි තව.....
පිපෙන්නට පළමුවෙන්
නෙලාගත යුතුව ඇත....
ගතට ඇති ලොබ මිසක
පෙමට මෙහි නොමැත ඉඩ...
නිදිවැදුනු අඳුරු දළ...
කිතිකවා අවදි කොට...
පිළුනු දහදිය සුවඳ
සොරාගත යුතුව ඇත
අනවසරයෙන් හොරෙන්
අර අඳින හොර හිතට...
රිද්මයට එක්වන්න
නොහැක ඇති වියරුවට
සිතේ රුදු බව සොයයි
ගතේ ඇති මුදු බව....
අභිනික්මනක යෙදෙමින්
අතැර හුරු පුදබිම...
කතර මිහි තෙත්වෙන්න
අතුල පිනි මුව අගින්...
වියැලෙන්න පළමුවෙන්
පෑළ දොර හැරයන්න....
පිබිදෙන්න වෙර දරන....
මල් රේණුවක ගැස්ම..
නොම දැනේ පිපුනු මුත්...
අකැප කරදහි මලට.....
අරමුණක් නොසොයාම....
මැවුණු ආරාධනා......
අසැබි විරඟේ රඟට....
ගොනු කරයි චෝදනා....
මුණුමුනුව හා බැඳී....
ගොළුව ඇති වේදනා....
වෙර දරයි සනසන්ට...
හති හලන චේතනා.....
කළුමුහුද කළඹවා.....
මහ මෙරම සලිතවී.....
නිම්නයම උතුරුවා.....
සෙල් තලාවම තෙමී....
බැලූ බැල්මට පුරුදු....
දසුනෙ වෙනසක් දැනේ.....
පීල්ලට මෙහායින්....
රේල්ලුව යනු පෙනේ......

Wednesday, April 10, 2013

සිසිරය....


සිත දුර ඈතක
දුක ලඟ මෑතක....
තනිවම වැලපෙමි...... 
අන්ධකාරේ...
සමනළ රෑනක
තටු ලැබුනත් මට.....
යන්න බැහැ......
මතකයෙ අඩි පාරේ.......
ඉන්නට බෑ මට 
ඔබලඟ ආයේ.....

සිතිවිලි විසිර යමින්....
අණදෙයි.....
නපුරු වෙමින්....
හදවත උමතුකමින්.....
ඉපිලෙයි......
උඩඟු වෙසින්......
මොහොතකට සිතමි 
මම නැවතී.....
මේ අඳුරු පහන් වැටි යායේ....
පෙම පලාගොසින්
ඉරි තලා සිත මගේ.....
එන්නෙ නෑ ඔබ ආයේ......

දිදුලන අළුව යටින්.....
මතුවෙයි 
අඳුර කෙමෙන්....
නෙතු කැන් සිනහසෙමින්....
සඟවයි 
උණු කඳුල හොරෙන්....
මොහොතකට හිඳිමි
මම වැතිරී.....
මේ විළිසුන් වූ ඇතිරිල්ලේ....
පෙම පලාගොසින්
ඇල්වෙලා හිත මගේ….
එන්නෙ නෑ ඔබ ආයේ.....


Thursday, March 21, 2013

උණුහුම.....



නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....

සැලෙන ලෙලෙන ගත
ඇලෙන ලවණ රස
පිරුණු ළමැද මත
දිවයනවා......
සිත දියවෙනවා
විළි මියැදෙනවා....

වැයෙන වැයෙන මත
සමග ගැහෙන හිත...
තාල විරහිතව ඇලලෙනවා....
ඉහළ පහළ යන
හුස්මට නැහැ ඉඩ....
දෙනෙත් වලින් ඔබ අයැදිනවා.....

නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....

ලොවට පෙනෙන රස
කයට දැනෙන කොට
මතට බරව හිත ඇවිලෙනවා....
මැවෙන මයෙම වත
දිලෙන දිගැස මත
නෝක්කාඩුවෙන් හිනැහෙනවා...

නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....

දියත මොහොතකට
නතරවෙලා වග
මොළය හදවතට පවසනවා......
රතට හැරුනු වත
සුසුම සමග බර
ළමැද කපොල්ලේ සැඟවෙනවා.....

නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....

ඉපිද මියෙන ලොව
සොඳුරු වෙසෙසකට....
අපිට අපිව අමතක වෙනවා....
මැවෙන මැකෙන දුක
සමග සතුට ගෙන
තුරුළු කරන් හිත සැතපෙනවා....

නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....

Friday, March 8, 2013

අවබෝධය



කුසීත සිතිවිලි....
විනීත ලෙස විත්.....
අනාථ කරවයි.....
පෙරූ පෙරුම්....
සනාථ විය....
ඇස් පනා පිටම...
නුඹෙ ප්‍රේම සලාකයෙ....
කිරුම් මිනුම්....

ලිහී ගොසින්...
විළි වසා ඇඳන් උන්....
සළුව සෙළුව හා
මිතුරු වෙසින්....
පලා දුවන්නට සිතේ මෙමට....
රහසින් අඩකුඹු.....
ජය කොඩිය වෙතින්.....

සෙනේහයේ
මල් පරාග තැවරුණු.....
සරා සිහින
පල්වෙලා සොවින්....
සීත සමීරෙට....
භීත වෙලා ඇත.....
නුරා ගින්න
ඇල්වෙලා ගොසින්.....

Friday, March 1, 2013

නරිකෙලා (Narikela).....




සිත හැරදා ගත
පාවෙයි ඈතක....
නුඹ හැරදා තරු
ඇවිදින් මෑතට...
පමණට වැඩියෙන්
සන්සල සාරිය......
අමතක කරවයි
මා ආ කාරිය.....

ලෙන්දොර පිට
සැතපුනු කළ්‍යාණිය.....
තුන්දොස චන්චල
මායාකාරිය......
දිඹුලකු සේ හැරදා
අභිමානය....
පෙළා පොලමි උමතුවු
සන්තානය.....

සර්පිල සිතිවිලි
දර්පණ මතුපිට.....
ගර්හිත කරවයි
පින්මද සෙනෙහස......
කම්පක මතුපිට
ලම්භක රූසිරි....
රූරා විසිරෙයි
විරඟේ සැණකෙළි.......

Wednesday, February 20, 2013

හිස් පහස



දෑත බැඳ ඇත
දෑස නිදි නැත
සිතේ දොරගුළු පළුදුවී ඇත....
සීත රෑ මැද....
නිමල ගිනිසිළු....
යහන පාමුල.....
වියැකෙමින්.....
යොවුන් ප්‍රෙමයෙ....
අඳුරු නටඹුන්...
විටින් විට....
එයි මතුවෙමින්.......
බරිත ඇතිරිලි...
සලිත කරමින්.....
තෙමුනු කොමු පිළි
වියැලෙමින්.....
කොහේවත් නැති
හීන අමුවෙන්....
පල දරා ඇත තනිකමින්.....
අතුල හැඟුමන්.....
ගූඪ කෙසුරක......
සුස්මකට යටවී හෙමින්......
බිඳී විසිරෙයි නලියමින්......

Friday, February 15, 2013

තෝන් ලණුව......



උස්ස උස්ස දුන්නට
මේ බැස්ටිය......
මාරු කරන්
හරි හරියට යශ්ඨිය......
ඕනි දාට
කොහෙවත් නැති කස්ටිය.......
පේන කියන්ඩයි....
ඕන් ලැහැස්තිය......

සීරු මාරුවට
දිරාමාරුවී.....
පීරිගෑව නම්බුවට
මුවාවී.......
පංගු පේරුවට....
නෝක්කාඩුවී.....
වැලයන පැත්තට
හේත්තු වේවී.......

සිරික්කියට බර
නැති අඩුපාඩු.....
කිරිච්චියට වැඩි
මුව අත ලාපු......
අවීචියෙන් පිටුවල්
කර දාපු......
චීත්තයක් නාගෙන
ඇත ලාටු....