Friday, November 18, 2016

ඇල්ම


සෙනෙහසකට
විස පොවා සනසවා......
අභිමතයට
අමතක කෙරුවෙමි මං.....
සිතුවමකට...
පණ පොවා....
රවටලා.....
අදහසකට පෙම් කෙරුවෙමි මං....

අනිමිසයක.....
දුක විඳින නුවන්....
අනියමයක.....
සුව විඳින ලවන්.......
හිතින් හිතට
එබිකම් කල ආලය......
ඇලී ගැලී.....
නැවතිලා මොහොතකට....
උණුහුම මත
හති හලන ගමන්.....
නොදැමුණු සිතිවිලි
නිවයි ගිමන්.....

Sunday, October 23, 2016

ඇස්බැන්දුම


වෙස් මුහුණකට
පෙම් කරමි
විවර කරන් හිත
රවට්ටගෙන හදවත....
පණ ඇති දෙයකට වඩා.....
ගැස්මක් ඇතැයි
පතාගෙන....
වියැලිච්චි
ඇස් පිටිපස.....
හිස් මිනිසුන්න්ට වඩා
නුඹ හොඳයි
මගෙ හිතවත....
උපතින්ම හිස් වුනත්....
ඇතුළත.....
තෙත් බවක් දැනෙයි....
මට....
ඔය ලෙන්ගතුකම මත....
බලාපොරොත්තුවක් නැතත්....
පොදි බැඳගෙන.....
නිදහසේ වැතිරෙන්න
හිතෙයි
ඔය රුව මත....
ඉසිඹුවක් නොදී මට.....
රිදවාපන්.....
යළි යළිත්.....
සිහිගන්වන්නට....
මං තාම අවදියෙන් වග.....

Wednesday, October 19, 2016

සැකය


සිත අයාලේ
යයි පියාඹා
මඟහැරී ආ කාරණේ.....
අරමුණක් නෑ
සැනසුමක් නෑ
දින සති ගතවේ පාළුවේ....
හඹායන්න
හීනයක් කොහිද....
දුක කියාගන්න
කැටපතක් කොහිද...
සැඟව තෙරපී...
මගෙම හිත අස්සේ....
ලොව දිහා විපරමෙන් හිඳිමි
පොඩි ජනේලයකින්
හැම තිස්සේ...
සිතිවිලි නිදයි වැස්සේ....
හදවත ටිකෙන් ටික හිස්වේ……
මුත් එය නොවෙයි ප්‍රශ්නේ....

Friday, October 14, 2016

අභිනය


පෙනි පෙනී
මිනිස්වාසය.....
ලියාතැබුවෙමි
මනස්තාපය.....
අවසාන හෙයින්
හෙටින් මාගේ සදාදරණීය
වනවාසය.....
පුරුදු පුහුණු කලයුතුය
පරණ ආටෝපය.....
වුවන මත තවරා
සිනහ ආලේපය......
වසා පළුදුවූ අඳුරු
ආලේඛය….
මවා දෙනෙතින්
කෘත්‍රිම ආලෝකය...

Thursday, October 6, 2016

මූනිච්චාව


හිත මරාපන්....
යළි හිටෝපන්...
මොකවත්ම වැවෙන්නැති
මුඩු බිමක......
කෙළවරක.....
කඳුළු පිණි යන්තමට
වෑස්සෙන උල්පතක....
සිනහවෙන් නැති හන්දා..
සරදමට ඉර එළිය....
අඳුරෙන්ම එළිය කොට....
නිතිපතා සාපකොට
ඉපැද්දූ පොහොට්ටුවෙ
ඇති අඳුරු කැරැට්ටුවෙ....
විළි වසා මදහසින්
තවරලා සුවඳ පැන්...
මුළු ලොවට පුදාපන්........
ආදරෙන් ඉඹින්නට.....
ආයෙමත් වතාවක්.....

Wednesday, September 21, 2016

විපර්යාසය


යලි උපන්නෙමි
පසු තැවෙන්නෙමි
මෙතෙක් හුන් ගබ සුවය අහිමිව
අඳ දෙනෙත්
මත එළිය වගුරා
බලකරන්නෙමි.....
කියන්නට මඟ......
වංගු මැද්දෙන් සිරස් රේඛා...
සොයන්නට
වක් සිතට අණකොට.....
සොයා නිදහස
සැරි සරන්නම්....
නිමක් නොපෙනෙන...
අඳුරු නුබ කුස....

Monday, September 12, 2016

දෙගිඩියාව


ඇවිද යමි මම
අනන්තය වෙත
මතක අහුරන් කඩමාල්ලක
හීන පුරවන් සාක්කුවේ.....
හෙමින් එක දෙක කාන්දුවේ...
හදවතේ බර හෑල්ලුවේ....
ගාට ගාටා පසුපසම විත්
සතුට දුක හා හේත්තු වේ....
ඈලියාවට යන්ට ඉඩදෙමි....
ප්‍රේමයට මං නිවාඩුවේ.....

බලාපොරොත්තුව
දෑස බැඳගෙන...
වෙලී ප්‍රේම බැන්ජියේ....
නිදහසේ අත්හලෙමි රාගය....
ඉපිල එන්නට ආයෙ දවසක....
නොපිට පෙරලා
දැවෙන උදහස.....
මකා දැමුවෙමි කිළිටි අදහස.....
ලොවට අමතක වසන්තයේ.....
මතකයන් එහි අඩංගුවේ....

Saturday, August 20, 2016

විළි


ගූඪ ස්වප්නයෙහි....
කුරිරු උණුසුම් බව
තැතිගස්වයි....
මගේ ආරූඪ කොටගත්
කෘත්‍රිම සභ්‍යත්වය
කැසකවා ගත් හදවත....
ලිහා හැර යළිඳු...
සඟවාගනිමි....
අනාවෘතවූ සත්‍යයේ
නග්නත්වය....
යතාර්ථයෙන් මුවා කල

Saturday, June 18, 2016

ඈලියාව


අසාගෙන
වැදි බණ.....
උක්කුටිකව හිඳගෙන....
මස් කට්ටක් වැළඳීමි.....
තෙල් මන්ද දෙස
ගිජුව බලමින.....
මන්ද ස්මිතයෙන්....
කෝපාග්නිය දොවා....
පලා පැහැ නෙතු
ද්වාරයන්.....
වසා තදකොට.....
අසීමිත වීරියෙන්....
තලා පෙලුවෙමි...
හදේ ගිනියම....
අඳුරු සිතිවිලි ලවා.....

Tuesday, June 14, 2016

ගැටුම...


ඉවුරුතලා ගිය....
උණුහුම් සිතිවිලි
සුරතින් ගෙන
මා...
පිසලන්නට.....
කඩමාල්ලක් සොයමි....
නොකිළිටි......
පසසනු රිසියෙන්....
තනිකමෙහි
පුදුමජනක ළබැඳියාව....

Saturday, June 4, 2016

හිමි අහිමි......


යහනත අතුළ මල්පෙති තලා
අමරස සොයා කිරි මුහුද කලඹලා
නිදි වරා මුළු රැය පුරා
මහාමේරුව දිය වෙලා

ඈ නෙත් අගින් පවසන කතා
ළදරුවකු සේ ඉවසමි අසා
මුදු ළමැද මත පෙම් මල හොවා
හිරුට පළමුව යමි පලා

තුසර බිඳු රත් නෙතු නිවා
කඳුලකට ඉඩ දෙනු එපා
මේ දිග සසර සරණා තුරා..
ඔබේ වන්නට ඉමි සිතා.....

හිමි නෑතත් පෙම
අවසරයි මට
එබෙන්නට ඔය හිතට රහසින්..
සොයා මා රුව
ඔබේ නෙතු තුළ
සැරි සරන්නම් ඔබේ හදවත..
කඳු සෙල් තලා...
නිමනයන් ජයගෙන...
ගලායන දිය වැල් සොයා....
සශ්‍රීක කෙම්බිම
මත ලිහා හිත...
විනිවිදිමි උණුහුම සොයා...

Monday, May 2, 2016

වියරුව.....


රඟපාන්න මට බැරුවට
උඹ මට බැන අඬගානව
නෝක්කාඩුවට බය හිත
දැන දැන උඹ මගහරිනව
ඇතුලාන්තයම දියවී....
පෙරී ඇවිත් සිත දවනව.....
ලෝකාන්තයෙන් පහළට
ඉගිල යන්ට මට හිතෙනව....

ශෝකාන්තයක කෙළවර
රෝස මලක් උඹ හොයනව...
කල්පාන්තයේ සිහිනෙක
හිරවී හිත හති හලනව...
සෙනෙහෙවන්ත අතීතයේ
නටබුන් හිමිහිට දිරනව...
කඳුළු මතින් සිනහවතක්
විත් සිහිනෙන් අතවනනව...