Friday, November 17, 2017

ආයාචනය


ආරෝපණය කොට
පණගන්වනු මැනවි.....
මගේ සුප්ත...
හදවත....
මකාලනු මැන
ඒකාකාරී චර්යානුගත.....
සිතිවිලි රේඛාවල
අනිච්චානුගව මැවෙන
මැසිවිලි.....
පුළුස්සා දමා යල් පැන ගිය.....
අඳුරු සෙවනැලි.....
ප්‍රතිනිර්මාණය කලමැනව...
පලාගොස් ඇති
මිනිස්කමේ අසරණකම්...
උණුහුම්කොට අයෙමත්.....
තැන තැන ගල් ගැසී ඇති
කඳුලැලි.....

Sunday, June 11, 2017

පෙම් හටන


පෙම් බඳින්නට
වෙරදරමි මම
අයෙමත් වතාවක්
මගෙම පෙම්වතිය වෙත....
නුඹ නොමැත මගෙ ලඟින්.....
ඇත සබඳ ඔහු ලඟම...
අමුත්තකු වී සියොළඟම....
සලිතවී යයි ළමැද...
හුරු පුරුදු උණුහුමට
උරුම කම් කියන්නට...
තරඟයක යෙදෙන්නට....
නොමැත මට පෙරවිරිය...
ගෙන දිරිය...
හදවතට
මුදා හැර කඤ්චුකය......
මුලපුරමි සටනකට......
ජයක් නම් හිමි නොවන.....
මගෙම ලේ සුවඳකට.....
පුදා මුදු ආදරය.....
අවනතව හිස නමමි
පරාජිත සිහිනයට....

Tuesday, April 18, 2017

වටාරම


හදවත පැකිලෙයි
කළු සුදු ඉරි මත
සිතිවිලි වැලපෙයි
ඉඳහිට හෙමිහිට
අමතකවුනු ප්‍රේමය
හදිස්සියෙම පැමිණ
අවුස්සයි විරාගික සුන්බුන්
සොය සොයා
හදවතේ කළුපෙට්ටිය
සම්මතයට ඇති
අනියත බියමත
සමාප්තියට පිටුපාමි
අපලාපනය කොට යථාර්තය
නොදන්නා අනාගතයට බය
ගතානුගතික වර්තමානය
යලි යලි අවුස්සයි
අතීතය නම්
නිමක් නැති කුණු බක්කිය
පසසමි ගරහමි
මංම මගෙම හිත
හංගනවට
මටම හිතෙන දේවල් මට
ලැජ්ජාවට බය
මේ පුදුම ලෙන්ගතුකම
නැවතුම්පලක් සොයයි
ගිමන් හරින්නට....
නිමේශයකට....

Tuesday, April 4, 2017

මද...


සුරාන්තයට පළමුව.....
අර අඳිමි...
හීනාන්ධකාරය පරදවා
මවන්නට අකුණු සැරයක්.....
කිළිපොළායන ලෙස
යටි බඩ....
සර සර හඬින් කෙසුරක...
මෝහනීය වූ යටි සිත.....
නිවා දමමින්
පහන් සරතැස....
ස්වප්නාන්තයක දොරකඩ...
දුම් දමන
භෂ්මාවශේෂ මත වැටෙන
හිරිකඩ...
කිති කවයි යළි මුඩු හිත.....
පෙළා පොළමින් මන දොළ…

Monday, January 30, 2017

පවාරණය


තරඟයෙන් ඉවත්වෙමි.....
කාලය නවත්වමි....
තත්පර කටුව මත....
වකුටුවී නිදන්නෙමි.....
හිත පමණක් අවදියෙන්....
මං ගැනම සෝදිසියෙන්....
රීරිසියාවට විතරක්
රිදෙයි මේ චරියාවෙන්....
හති වැටෙන්නේ නැති කමින්...
හදවත විමතියෙන්.....
හැරි හැරී බලයි ආ මඟ දෙසම
ආතතියෙන්......
කියවන්න කම්මැලිම
අතීතයේ පාරට්ටු......
හොරැහින් ඉඟිමරයි
යටි හිතට කර තට්ටු....
අනාගතයක් කොහෙද....
වර්තමානයට වග නොකියන.....
පහන් තරුවක්
ඇතිද නිදහසට මඟ කියන.....

Sunday, January 29, 2017

මායාව....

වෙමි වහලෙකි
මගෙම සිතෙහි.....
පිටුවහලෙකි
ලොව හමුවෙහි.....
අකුරු අතර
සුනංගු වූ.....
විලම්භීත පරිණාමය.....
මතක් කරලා
සැරෙන් සැරේ....
ඉපිලී එන යථාර්තය
මොළ වැස්මට
ඉඳල හිටලා කරන කරච්චල්....
වලට බයේ
සැඟවී ඇත.....
මසිත නෝංජල්...

Thursday, January 5, 2017

සන්තර්පණය


හැඟුම්බර විජිනිපත
තවමත්
සෙමෙර සලමින්...
හැමදාමත් වගේ
විඩාපත් හිත
නිවාලන්නට ආදරෙන්....
අචේතනිකවූ
වැයමක යෙදෙමින්....
හිත සිසිලසෙන් පලා යන්නට...
අනේකවිධ වූ
හේතු හොයමින්.....
වියැළුනු කෙම්බිමක
රළුබව මවාගෙන....
සාප කරමින් හඬයි
ගලා ගිය කාලයට....
මලානික ආලයට.....
හදවත හොරෙන් හැඩ බලයි....
කාෂ්ඨක හීනයක...