Monday, January 30, 2017

පවාරණය


තරඟයෙන් ඉවත්වෙමි.....
කාලය නවත්වමි....
තත්පර කටුව මත....
වකුටුවී නිදන්නෙමි.....
හිත පමණක් අවදියෙන්....
මං ගැනම සෝදිසියෙන්....
රීරිසියාවට විතරක්
රිදෙයි මේ චරියාවෙන්....
හති වැටෙන්නේ නැති කමින්...
හදවත විමතියෙන්.....
හැරි හැරී බලයි ආ මඟ දෙසම
ආතතියෙන්......
කියවන්න කම්මැලිම
අතීතයේ පාරට්ටු......
හොරැහින් ඉඟිමරයි
යටි හිතට කර තට්ටු....
අනාගතයක් කොහෙද....
වර්තමානයට වග නොකියන.....
පහන් තරුවක්
ඇතිද නිදහසට මඟ කියන.....

Sunday, January 29, 2017

මායාව....

වෙමි වහලෙකි
මගෙම සිතෙහි.....
පිටුවහලෙකි
ලොව හමුවෙහි.....
අකුරු අතර
සුනංගු වූ.....
විලම්භීත පරිණාමය.....
මතක් කරලා
සැරෙන් සැරේ....
ඉපිලී එන යථාර්තය
මොළ වැස්මට
ඉඳල හිටලා කරන කරච්චල්....
වලට බයේ
සැඟවී ඇත.....
මසිත නෝංජල්...

Thursday, January 5, 2017

සන්තර්පණය


හැඟුම්බර විජිනිපත
තවමත්
සෙමෙර සලමින්...
හැමදාමත් වගේ
විඩාපත් හිත
නිවාලන්නට ආදරෙන්....
අචේතනිකවූ
වැයමක යෙදෙමින්....
හිත සිසිලසෙන් පලා යන්නට...
අනේකවිධ වූ
හේතු හොයමින්.....
වියැළුනු කෙම්බිමක
රළුබව මවාගෙන....
සාප කරමින් හඬයි
ගලා ගිය කාලයට....
මලානික ආලයට.....
හදවත හොරෙන් හැඩ බලයි....
කාෂ්ඨක හීනයක...