Sunday, January 28, 2024

තථ්‍යතාව

 


කඳු පිට කඳු නගිමි....
රළ පිට රළ බිඳිමි....
හීන වල  තනිවෙමින්....
සුරාන්තවල දිග මනිමි....
මොහාන්ධකාරයට...
අඳුරෙ හිඳ ගල් ගසමි.....
හිස මුඩු ශ්‍රමණයින්ට...
ඊරිසියා කරමි...
බැඳීමවල රහ බලමි...
අනවරතව සිත බඳිමි......
ගතේ අශාවට වැට බැඳ..
සිත ලිහා මුදා හරිමි.....

Sunday, September 11, 2022

වැල්වටාරම්

 

 


අවදි වන්නෙමි

නැවත නැවතත්

සියොලඟම කොනිත්තා ගනිමින්

එකම හීනයකින්

හැමදාමත්....

පලා යනු පිණිස

මගෙම මතකයන් වෙතින්....

සැඟවී ළදරු වෙසින්...

—----------------------

මං මාවම 

හොයා ගනිමින්...

මගෙම කෙස්සෙන් ඇද 

ගොඩට ගනිමි....

බොර වතුරෙන්.......

පෙඟුණු සුසුමෙන්....

සුප්ත හදවතට 

පණ පොවන්නෙමි.....

අතෘප්තිකරවූ...

මුත්...

වැරවෑයමින් ඇඟලූ

තෙත බරිතවූ

කෘත්‍රිම 

සාමාජීය අවශ්‍යතාවයන්

එකින් එක ගලවා 

නිරුවත් කරමින්....

ඉවත්වූ තරඟයේ...

දුඹුරු මතකයන්.....

එකින් ගෙන පළුදු කරමින්....

ආයෙමත් වතාවක්...

බර හුස්මක් අරන්....

දෑසින් දකින්නට අවට ලෝකය....

මටම මා විසින් ආරාධනා කරගනිමින්.....

-------------------------

ආලෙස්සම් ව පාවෙයි

විලම්භීත

සිතිවිලි.......

වේලිච්චි

නිදිකුම්බ මල් රේණු වගේ

හිත පස්සෙන්...

හුළං මත්තෙන්...

ජීවිතේට අමතකම වෙච්චි...

සතුට සැහැල්ලුව...

පරක්කුවෙලා හරි

මතක් කර දෙන්ට

දින ගනිමින්

අදිටනින්.

-------------------------------

අරමුණු.....

අරභයා

ගොඩනගන අමුණු....

පිරී ඉතිරී පිටාරව...

ගලා විත්

මකාලයි මතකයේ

මිනිසත්කමේ සලකුණු.....

--------------------------------------

විලිවසා ගනිමිද

සුරතින්?

මුව වසා ගනිමිද

වමතින්?

---------------------------------------

ඔහේ ඇවිද යමි.....

ඔරලෝසුවට

ඔච්චම් කොට....

යාන්තම්

වත්තම් කර ගනිමින්.....

ප්‍රේමයෙන් ඔත්පලවූ.....

සිතිවලිවල

නවාතැන් පොළ.....

---------------------------------------

කොනිත්තා ගනිමි

සියොළඟ......

සම්මා දිට්ඨියෙන්...

අවදිවන්නට.....

අචේතනික නින්දේ....

ගුඪ ස්වප්නයෙන්....

--------------------------------------------

අනියත ජීවිතයට....

නියත විවරණ දෙන්ට දඟලන අපි.....

නිවන් යන්න හදන්නෙත්.....

අනුන් ගානේ....

----------------------------------------------

කැටපත පිරික්සමි.....

ලාවට විරිත්තමි.....

නෙරූ උදරයට පසුපසට කරන්....

හුස්මක් හෙලා සැනසෙමි.....

ආයෙමත් නරඹමි....

නර කෙස් වලට ගරහමි.....

ගත සෘජු කරන්...

හිත දැඩි කරන් ...

තිරිහන් වෙන්ට වලිකමි....

----------------------------------------

තොල් සායම් ගෑවුනු...

මුව ආවරණය සිඹීමි...

ඇගේ උණුහුම සිහිනයෙන් විඳීමි....

ලජ්ජාවට බියෙන්

නිද්‍රාව සොයමි.....

සරත් සමයේ තුන්ද්‍රාවක.....

මල් පිපෙන තුරු

හිඳිමි.....


Tuesday, July 30, 2019

සමන්තය

සංගතිය...
ඇල්මකින් ඔබ්බට ගිය.....
සංවේදය...
හදවතට ආවේනික රිද්මයට...
අනුනාදවන....
චෛතන්‍යය....
තනිව යන සසර මඟ....
කලින් කලට හමුවන....
නිරන්තරයෙන් සිහිවන...
විටෙක මත් බවෙහි දියවී....
වියැකෙන.....
අවිඥානකව රාගයේ උණුහුමට
වසඟ වන........
මොහොතක උණුහුමට ලොල්වී...
වැලපෙන....
ආත්මාර්ථයට බිළිවී...
නැවත පණ ගසන....
යථාර්තයට පිටින්...
සම්මතයට ඔබ්බෙන්.....
හෙවනැල්ලක් ලෙසින්
මගේ ලඟින්.....
බැඳීමක් නැති...
සැනසීමක් ද නැති....
පරමාර්ථයක් නැති....
තර්කානුකූලව එකිනෙකට අසම්බන්ධ
මුත්..
නිරන්තර වූ
මේ අනන්ත සෙවිල්ල...
අරභයා කරන මේ ආත්මීය වැමෑරීම....
අවසන
මායිම්වලට ඔබ්බෙන් ඉගිලී...
සොයා යමි..
සදාතනික ලතැවිල්ල....

Sunday, July 28, 2019

අවනතිය


උඩුගං බලා පිහිනමි
සුරතින් රැගෙන අභිමානය....
වමතින් වසාගනිමින් අවමානය....
යති හිතෙහි ජනිතවන...
හීන මානය....
අඩපණ කරයි...
සැඩ පහරට එරෙහිව....
සටනට පණ පොවන
උන්නතිකාමය......
ලෙහා දමමින් බරැති ධවල
සන්නාහය....
දියවයන්නට හරිමි
කීර්තිමත් සන්නාමය.....

Friday, May 10, 2019

අයිතිවාසිකම


ඇත්ත ඇති සැටියෙන්
දකින රිසියෙන්....
කඩා බිඳ දමා....
බැඳුම්....
සහ සම්බන්ධ....
සියළු ඇළුම් බැළුම්....
අයිතියක් ඇත්ද 
රිදවන්ට අන්සතු සිත්...
මා සිතු පමණින්.....
නිවෙන්නට මා හිතින්.....
මිදෙන්නට මේ දුකින්....
ආත්මර්ථය....
පළමුකොට තබා...
පළා යන්නද කෙසේ...
නිරුවතින්.....
හිස් අතින්.....
හිත පමණක් ගෙන මිටින්....

Wednesday, May 8, 2019

පරාජය


තනි තනිව
සටන් වදින ලෙසට
සිතිවිලි වලට අණදෙමි.....
ප්‍රේමයට
පහර දෙනු පිණිස...
රාගයට පණ දෙමි.....
අන්ධකාරයට ලොබ බැඳ
ආලෝකයට සමුදෙමි......
වසන්තයට මඟහැර.....
ගිම්හානය වැලඳගමි....

ඉබාගතේ...


මගේ හිත
මහ මුඩු බිමක්.....
කොයිතරම් නම් සී සී සෑවත්...
ලැබෙන්නේ නැති පලක්.....
මහේ හද තුළ තිබුනත්...
හිස්ව ඉඩ කොපමණක්....
ධාරාණිපාතව වැස්සත්.....
පිරෙන්නේ නැති වැවක්....
ආසාවට විතරක්
නෑ නෙව සීමාවක්...

Saturday, April 7, 2018

යථාර්තය


ජීවිතයම අන්සතුව
යන්ත්‍ර ලෙස...
ගෙවෙන අපගේ දිවිය
එකෙම එක මොහොතකට
විඳින්නට දකින්නට....
ආඩධානා කරමි ඔබට.....
නොපෙනෙනා වැටෙන් පැන...
සුවපහසු පුටුවට
පා පහරක් දී.....
යතුරු පුවරුවට සමුදී....
තිරයෙන් මිදී......
සැනසුමට ලංවී.....

Sunday, April 1, 2018

මැස්සා


අනිමිසලෝචනයෙන්.... තිරය සිපගෙන.... මරුමුවට පත්කලෙමි යථාරූපී සිහින.... නිවා දමමි ජීවිතයේ පහන..... වැලඳගෙන තෙත්බර අන්ධකාරය..... අනිච්චානුගව මුවගින් වෑස්සෙන අසීමිතවූ ආශාවේ... ගඳගහන ක්ලේශ..... මත් කරයි ඉරිතැළුණු මහද..... සුන් කරමින් මතකයන්.... පිළිබඳ ආදරණීය පහස..... නොදන්නා මෙම නිල්පාට රහස..... පැරණි සිතිවිලි ආයමත් මතුවෙමින් සිහිකරයි.... කළු සහ සුදු අතර වෙනස....

Friday, November 17, 2017

ආයාචනය


ආරෝපණය කොට
පණගන්වනු මැනවි.....
මගේ සුප්ත...
හදවත....
මකාලනු මැන
ඒකාකාරී චර්යානුගත.....
සිතිවිලි රේඛාවල
අනිච්චානුගව මැවෙන
මැසිවිලි.....
පුළුස්සා දමා යල් පැන ගිය.....
අඳුරු සෙවනැලි.....
ප්‍රතිනිර්මාණය කලමැනව...
පලාගොස් ඇති
මිනිස්කමේ අසරණකම්...
උණුහුම්කොට අයෙමත්.....
තැන තැන ගල් ගැසී ඇති
කඳුලැලි.....

Sunday, June 11, 2017

පෙම් හටන


පෙම් බඳින්නට
වෙරදරමි මම
අයෙමත් වතාවක්
මගෙම පෙම්වතිය වෙත....
නුඹ නොමැත මගෙ ලඟින්.....
ඇත සබඳ ඔහු ලඟම...
අමුත්තකු වී සියොළඟම....
සලිතවී යයි ළමැද...
හුරු පුරුදු උණුහුමට
උරුම කම් කියන්නට...
තරඟයක යෙදෙන්නට....
නොමැත මට පෙරවිරිය...
ගෙන දිරිය...
හදවතට
මුදා හැර කඤ්චුකය......
මුලපුරමි සටනකට......
ජයක් නම් හිමි නොවන.....
මගෙම ලේ සුවඳකට.....
පුදා මුදු ආදරය.....
අවනතව හිස නමමි
පරාජිත සිහිනයට....

Tuesday, April 18, 2017

වටාරම


හදවත පැකිලෙයි
කළු සුදු ඉරි මත
සිතිවිලි වැලපෙයි
ඉඳහිට හෙමිහිට
අමතකවුනු ප්‍රේමය
හදිස්සියෙම පැමිණ
අවුස්සයි විරාගික සුන්බුන්
සොය සොයා
හදවතේ කළුපෙට්ටිය
සම්මතයට ඇති
අනියත බියමත
සමාප්තියට පිටුපාමි
අපලාපනය කොට යථාර්තය
නොදන්නා අනාගතයට බය
ගතානුගතික වර්තමානය
යලි යලි අවුස්සයි
අතීතය නම්
නිමක් නැති කුණු බක්කිය
පසසමි ගරහමි
මංම මගෙම හිත
හංගනවට
මටම හිතෙන දේවල් මට
ලැජ්ජාවට බය
මේ පුදුම ලෙන්ගතුකම
නැවතුම්පලක් සොයයි
ගිමන් හරින්නට....
නිමේශයකට....

Tuesday, April 4, 2017

මද...


සුරාන්තයට පළමුව.....
අර අඳිමි...
හීනාන්ධකාරය පරදවා
මවන්නට අකුණු සැරයක්.....
කිළිපොළායන ලෙස
යටි බඩ....
සර සර හඬින් කෙසුරක...
මෝහනීය වූ යටි සිත.....
නිවා දමමින්
පහන් සරතැස....
ස්වප්නාන්තයක දොරකඩ...
දුම් දමන
භෂ්මාවශේෂ මත වැටෙන
හිරිකඩ...
කිති කවයි යළි මුඩු හිත.....
පෙළා පොළමින් මන දොළ…

Monday, January 30, 2017

පවාරණය


තරඟයෙන් ඉවත්වෙමි.....
කාලය නවත්වමි....
තත්පර කටුව මත....
වකුටුවී නිදන්නෙමි.....
හිත පමණක් අවදියෙන්....
මං ගැනම සෝදිසියෙන්....
රීරිසියාවට විතරක්
රිදෙයි මේ චරියාවෙන්....
හති වැටෙන්නේ නැති කමින්...
හදවත විමතියෙන්.....
හැරි හැරී බලයි ආ මඟ දෙසම
ආතතියෙන්......
කියවන්න කම්මැලිම
අතීතයේ පාරට්ටු......
හොරැහින් ඉඟිමරයි
යටි හිතට කර තට්ටු....
අනාගතයක් කොහෙද....
වර්තමානයට වග නොකියන.....
පහන් තරුවක්
ඇතිද නිදහසට මඟ කියන.....

Sunday, January 29, 2017

මායාව....

වෙමි වහලෙකි
මගෙම සිතෙහි.....
පිටුවහලෙකි
ලොව හමුවෙහි.....
අකුරු අතර
සුනංගු වූ.....
විලම්භීත පරිණාමය.....
මතක් කරලා
සැරෙන් සැරේ....
ඉපිලී එන යථාර්තය
මොළ වැස්මට
ඉඳල හිටලා කරන කරච්චල්....
වලට බයේ
සැඟවී ඇත.....
මසිත නෝංජල්...